Monday, December 26, 2011

අවජාතක පෙම...




යන්ට යමි මා ඉතින්
හැරදා නුඹේ ලොව
වේදනාවේ මකුළු දැල් බැඳි
මගේ නොවෙනා
ලොවක බැ
ඉන්නට නැවතිලා


තිඹිරිගෙයි මියැදුනු
ප්‍රේමයක මළකඳ
රැගෙන යමි මා ඉතින්
මරණයක සළකුණු
මකාදමන්නට


අවජාතක පෙමක්
බිහි කල වරදට
ලබන ගැරහුම් විසිකළෙමි
ගසා යන සුළඟට
සී සී කඩ ගිය ජීවිතේ
රැගෙන යමි ඉතින්
දොස් නැ නුඹට


පෙම මගේය මා මවය
පියා නුඹ නොව
සිතුවේ නුඹ පියාය
දොසක් නැ නුඹට
අවජතක පෙම 
මියැදිලා දැන්..

Post Comment

Tuesday, December 6, 2011

බලාපොරොත්තුව..



බලාපොරොත්තු නැති
වෙලාවක ඇවිත්
බලාපොරොත්තු නැති
වෙලාවක යනවා.....


දෝතට ගත්තාම
අතින් ගිලිහෙන
ඉවත බැලුවාම
ලඟට එන


අරුමයකි නුඹ
බලාපොරොත්තුව..

Post Comment

Thursday, December 1, 2011

Friday, November 25, 2011

සිතේ සැඟවුනු කවි 3


සිත හඬන තරමට
කැලඹේ නම් මහ සයුර
සුසුම් ලන තරමට
දෙදරයි නම් මහ පොළොව
දැනේවි නුඹට
ආදරය කොතරම්ද වග
නමුදු කැලඹෙන්නේ
මගේ හද පමණක්ම
දෙදරන්නේ මගෙ හද
පමණකම වෙනකොට
කෙසේ දැනෙන්නද නුඹට
හිතේ සැඟවිච්ච
මගේ ආදරය..

Post Comment

සිතේ සැඟවුනු කවි 2


සිහින ගොන්නක් හදෙහි රන්ඳා
පැතුම් පොඳි බැඳි ජීවිතේ
මග කියාදුන් ඔබ කිමද
මා අතරමංකර මේ ලෙසේ..

අසරණ උනා මේ හිත
නුඹ නොදැන හිටියට
හිතුවත් නුඹ එලෙසට
මා නූඹ අතරමං කලා නොව..

නුඹ සමඟ ඇවිද ගිය
මාවත් හි අද මා පමණයි
නුඹ නොදන්නවා ඇති
බිල්ලන් අපමණයි..

මාවත් අතර ඉදහිට
අවිද යන නුඹ පසුපස
අවේ මම අසරණව
නුඹ හිතුවේ බිල්ලෙක් කියද?

නුඹ ඒවිදැයි මම
හැරි බැලුවෙමි දහස් වර
නුමුදු නොදැක්කෙමි මම
වෙන යමක් බියකරු සෙවණැලි හැර..

මම දැක්කා නුඹේ දෑස
සොයන බැවු මා නිතරම
ඒත් කොහොම එන්නේ නූබේ දෙනෙත් අද්දරට
ඔය දෑසට මං කඳුළු දුන් නිසාම...

නෙතේ වූ කඳුළැල්
කීවේ නුඹ නැති පාළුවයි
ආවේ නම් එක් වරක්
වියලේ කඳුළු සත්තයි..

හිතුනත් එන්න නුඹ වෙතම
බැදුන බැමි වැඩි උනා මග අහුරන
ආයෙම නුඹට දුකක් වී දිනෙක
යන්න වෙන නිසයි නොආවේ මං නුඹ ලගට.

බැඳි බැමි බිඳ දමා
එන්නට හැකිනම් ඔබට
පිළිගනිමි ආදරෙන් යළිත්
බිඳුණු මගේ දිවියට..

දන්නවා නුඹ මග බලාන බව
එනතුරු මං නුබේ ලෝකෙට
මාපිය සෙනෙහෙ අපි අතර වූ වුටක
කොහොම මම එන්නේ නුඹව සොයාගෙන..

දෙමාපිය සෙනේ ලඟ
අසරණයි අපි දෙදෙන
නමුත් බැහැ දුක් දෙන්න
දනිමි වැඩු මාපියන්ට

මේ කවි පන්තිය වර්ණ ලියන දිනේශ් අයියාත් මමත් බුකියේ දි ලියපු කවි පන්තියක්. එහි තිබෙන සුන්දර බව නිසාම මම බ්ලොගයේ එය පළ කරන්නට සිතුවෙමි. මෙහි italic font එකෙන් ඇති කවි දිනේශ් අයියාගේ වන අතර අනිත් කවි මාගේ නිර්මාණයන්ය. 

Post Comment

Thursday, November 24, 2011

සිතේ සැඟවුනු කවි 1



සඳට එළිය
දෙන්නේ හිරුලු
කිසිදා නොදකින
සඳට එළිය දෙන්න
හිරුට හැකිනම්
හැමදා දකින
මට එළිය දෙන්න
ඇයි නුඹට බැරි?

Post Comment

Sunday, November 20, 2011

I will be right here waiting for you..



Oceans apart day after day 
And I slowly go insane 
I hear your voice on the line 
But it doesn't stop the pain 

If I see you next to never 
How can we say forever 

Wherever you go 
Whatever you do 
I will be right here waiting for you 
Whatever it takes 
Or how my heart breaks 
I will be right here waiting for you 

I took for granted, all the times 
That I though would last somehow 
I hear the laughter, I taste the tears 
But I can't get near you now 

Oh, can't you see it baby 
You've got me goin' CrAzY 

Wherever you go 
Whatever you do 
I will be right here waiting for you 
Whatever it takes 
Or how my heart breaks 
I will be right here waiting for you 

I wonder how we can survive 
This romance 
But in the end if I'm with you 
I'll take the chance 

Oh, can't you see it baby 
You've got me goin' cRaZy 

Wherever you go 
Whatever you do 
I will be right here waiting for you 
Whatever it takes 
Or how my heart breaks 
I will be right here waiting for you 



One of my favourite songs. Just wanted to share the lyrics

Post Comment

Saturday, November 12, 2011

මළවුන්ගේ සාක්කිය - 2

"

මගේ සැකය යලිත් මතු වූවේ දේශණ අවසන් ව නවාතැන වෙත එමින් සිටියදී මා දුටු දසුනෙනි. පාර අයිනේ නවතා තිබු කහපාට ටැක්සියක් තුල සාරා සිටියා ය. ඇය ඉතාමත් කෝපයට පත්ව සිටි බව තරමක් දුර සිටියද මට පෙනුනි. ඇය පසෙක උස මහත සුද්දෙක් අසුන් ගෙන සිටියාය. ඔහුට වයස තිහක් පමණ වන්නට ඇතැයි මට සිතුනි. ඔවුන් බහින් බස් වන බව හඬ නෑසුනද එහා මෙහා විසිවන අත් වලින් තේරුම් ගැනීම අපහසු නොවීය. ඇයට කරදරය වෙතැයි සිතූ මම ඒ දෙසට යාමට හැදු වහාම දොර විවෘත කල සාරා සුදු මිනිහා සිහි එළවා ගන්නට පෙර වෙනත් ටැක්සියක නැගුණා ය. එම ටැක්සිය ඇයවත් රැගෙන පවනට බඳු වේගයෙන් නික්මුනි. ඔහු ඒ පසු පස එළවනු ඇතැයි මා සිතුවද ටැක්සියට මුදල් ගෙවූ ඔහු උමං මාර්ගය තුලට අතුරුදහන් විය.
මා නවාතැනට යන විට සාර එහි සිටියා ය. ඇගෙන් මේ ගැන කෙලින්ම විමසිය යුතු බව මම තීරණය කළෙමි.


"I will tell you everything.. but give me two more days.. I have to solve this..just two more days babe.. "


මා විමසූ විට ඇය දුන් පිළිතුරෙන් මම මගේ සිත සනසා ගතිමි. දින දෙකකට පසු හදිසියේ රාත්‍රියේ ඈ මා ඇමතුවා ය. ...... කලබලයෙන් මා ඇමතූ අය දුරකථනය විසන්ධි කළාය. අවසානයේ ඇගේ නවාතැනට යාමට මට අවස්ථාවක් පෑදීම ගැන හිතට සතුටක් දැනුණද ඇගේ හඬේ වූ කලබලය ඒ සතුට යටපත් කරවීය.
ට්‍රින්ග්..ට්‍රින්ග්..


"sh.. don't make noises.. come in.."


සැණින් විවර වූ දොරින් රහසින් මෙන් ඇය මිමිණීය. මතුවූ සැකයත් අතැතිව සාලයට පිවිසුණු මම දුටු දසුනින් ගල් ගැසුනි. එදා ටැක්සියෙ දුටු ඔහු අද සාරාගේ සාලයේය. නමුත් එක වෙනසකි. එදා ඔහු සිටියේය පණ පිටින්ය. අද ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු මා ඉදිරිපිටය. මාගේ ඇස් වල වූ බියත් තැතිගැන්මත් ඇය දැකින්නට ඇත. මාගේ අතින් අල්ලාගෙන ගොස් පුටුවක් හිඳවූ ඇය


"I will explain you everything.."


නමින් ඒඩන් වූ ඔහු සාරාගේ කලින් පෙම්වතාය. එක ගමේ සිටියදී ඇරඹී මෙම ඇසුර ඇය ගැබ් ගැනීම දක්වා දුර ගොස් ඇත. නමුත් ඇය ඒඩන් හා විවාහ වීම ගැන ඇගේ දෙමව්පියන් එකඟ නොවී ඇත්තේ ඔහුට දාව ඒ වනවිටත් කාන්තාවන් දෙදෙනෙකුටම දරුවන් වූ බැවිනි. ඔහුගේ සෙල්ලක්කාර ගති දත් දෙමව්පියන් අකැමැති වුවත් සාරා ඔහුව අමතක කරන්නට කැමති වී නැත. එහෙත් සියල්ල කණපිට හැරී ඇත්තේ සාරාගේ දෙමව්පියන් හදිසි අනතුරකින් මිය යාමත් සමඟය. නිවසේ ඇති වූ ගින්නකින් ඔවුන් මිය ගියද එයට ඒඩන්ගේ සම්බන්ධයක් ඇතැයි සාරා සැක කල බැවින් ඔහුගෙන් සැඟ වී ඇය ලන්ඩන් බලා රහසේ පැමිණ ඇත.ලන්ඩන්හිදී උපන් දරුවා ඇය ළමා නිවාසයකට භාර දී ඇත. නැන්දනියක සමඟ වාසය කරන බැව් කීවද එය බොරුවක් බව ඈ කීය. ඈ මා සමඟ නොකී දහක් දේ අතරේ එහි වෙනසක් මට නොපෙනුනි. සියල්ල වෙනස් ව ඇත්තේ ඒඩන් ඈ සොයා සිව් වසකට පසුව ලන්ඩන් පැමිණීමත් සමඟය. ඒඩන්ගේ කරදරයෙන් ගැලවීමට ඇය ගෙන ඇති පියවර දැන් මා ඉදිරිපිට තිබේ. පෙර දවසක ඈ සැණින් මරණයට පත් වෙන විෂ වර්ග ගැන වූ පොතක් කියවමින් සිටිනු දුටු මා කාව මරන්නදැයි විහිලුවට මෙන් ඇසු බව මට සිහි විය. එහෙත් ඇය සැබැවින් ම ඇය මෙවන් දේකට සූදානම් වෙනවායි මම සිහිනෙකුදු නොසිතුවේය. 


"we need to hide his body... let's go to your country and then we can live happily.."


මිනීමැරුමක් සිදු වී ඇත. මට ද එය සැඟවීමට හවුල් වීමට සිදු වී තිබේ. ඇය මේ මිනිසා මැරුවේ මා නිසාය. මා නොසිටියා නම් ඇය ඔහු සමඟ යන්නට ඉඩ තිබුනි. මා ඇයට උදව් කළ යුතුව ඇත. මා හා ඈ එක්ව ඔහුගේ සීතල සිරුර ඔසවා ගෙන ඇගේ නවාතැනේ පිටුපස දොරින් වත්තට පිවිසුනෙමු. මුලදි වත්තේ වළ දැමීමට තීරණය කලද පසුව වටපිටාවට හඬ ඇසේයැයි සිතු හෙයින් වත්තට පිටිපසින් කුණු වතුර ගලා යාමට තිබු ඇළ මාර්ගය වසා තිබු එක් සිමෙන්ති පියනක් ඉවත් කල මා ඇය සමඟ එක්ව ඔහුගෙ ප්‍රාණය නිරුද්ධ සිරුර එයට දැමීය. එතැන දණ ගසා ගත් සාරා කෙටි යාඤ්ඤාවක් කළාය. මමත් දන්නා අයුරින් දෙවියන්ට යැද්දෙමි. ඒ සාරාමෙන් ඔහුගෙ ආත්මය උදෙසා නොව මේ ඇළ මාර්ගය තව සතියක් වත් යනතුරු සුද්ද කිරිමට සිදු නොවේවා යන්නයි.
ඔහු හඳුනාගත හැකි සියලුම ලියකියවිලි ප්‍රතිචක්‍රීකරණ මැසිම තුළට එබීමට සාරා අමතක නොකළාය. එයින් පසු ගෙවුණු සතිය මා සිටියේ නිසි සිහියෙන් නොවේ. සියලු ඉගනීම් කටයුතු නවතා දැමු මම අප හට ලංකාව බලා යාමට සියලු කටයුතු සූදානම් කළෙමි. සතියක් ඇතුළත ටිකට් පවා වෙන් කරගැනිමට මම සමත් විය. නමුත් සිදු වූයේ අනිකෙකි. 


මළවුන් සාක්කි නොදෙයි කීවාට මියගිය ඒඩන් අපගේ අපරාධය ගැන සාක්කි දී හමාරය. සිදුවූයේ කුමක් දැන් දැනටත් මට පැහැදිලි නැත. හදිසියේ අප නිවසට පැමිණි පොලීසිය ඒඩන්ගේ මරණයට අපි සැකකරන බව පවසා සාරාවත් මාවත් අත් අඩංගුවට ගත් බව පමණක් මම දනිමි. පොලිසිය පැවසූ ලෙසට කවුදෝ දුරකථන ඇමතුමක් මඟින් තමාව මාරා දැමීමට උත්සහ කරන බවක් පවසා ඇත. එය ලැබී ඇත්තේ සාරාගේ නිවසෙන් වන අතර ඒ ඒඩන්ගේ මරණයෙන් දිනකට පසුවය. ඒ හරහා කළ සෝදිසි කිරිම් වලදි අපි ඇළට දැමු මිනිය ඔවුන් විසින් සොයාගෙන ඇත. සිදු වුයේ කුමක්ද යන්න මට තවමත් නොතේරේ. නමුත් තම මරණයේ පළිය ගන්නට ඒඩන් මරණින් නැගිට ආ බව මම විශ්වාස කරමි.
_________________________________________________
ප.ලි. කතාවේ අඩු පාඩු ගොන්නක් තිබෙන්නට පුළුවනි. මේ මාගේ පළවෙනි උත්සහය බැවින්. කියවා අඩුලුහුඬුකම් කියා යන්නේ නම් ඉතාමත් සතුටුය.

Post Comment

Thursday, November 10, 2011

මළවුන්ගේ සාක්කිය - 1


සියල්ල තව මොහොතකින් අවසන් වේවි. දීප්තිමත් අනාගතයක් අතින් අරන් එංගලන්තයට මීට වසර හතරකට උඩදී පය ගැසු මම අද අපරාධයක හවුල්කාරයකු ව සිරගෙට නියම වී හමාරය. මා පෙම් කළ ගැහැනිය එල්ලුම් ගහට නියම වී සිටි. සිදුවූ සියල්ල ලියා තැබීමෙන් මා හිතට යම් සැනසිල්ලක් ලැබෙනු ඇතැයි මම සිතීමි.


මම එංගලන්තයට ගිය මුල් දින වල දැනුනු හුදකලා බව නිසාම නිතර මගේ නවාතැනට නුදුරින් තිබුන අවන්හල වෙත යන්නට පුරුදුව සිටිමි. අවන්හලක් කීවාට ලංකාවේ මෙන් රැඳී සිටින්නටද මුදල් ගෙවිය යුතු තැනක් නොවුනු එය නිදහසේ හිඳගෙන තමන්ගේ වැඩක් කරගැනිමට ඉඩ සලසා තිබුනි. සෙනඟ වැඩිපුර නොගැවසීමත් නිසා එය මාගේ සිත් ගත්තේය. සැම දිනකම හවස දේශණ ඉවර වී නවාතැනට ආ පසු පොතක් හෝ පත්තරයක් රැගෙන එතැනට ගොස් හවස තේ බී රාත්‍රි අහරද ගෙන ආපසු ඒමට මම පුරුදු වීමි.


සතියක් පමණ මෙසේ ගෙවුනු අතර මෙහි යාවජීව සාමාජිකයෙක් ව සිටින්නේ මා පමණක්ම නොවෙන බව මගේ ඇස ගැටුනි.


උරහිස් මට්ටමින් මදක් දික් වූ කළු කෙස් කළඹත් රන්වන් පැහැයට හුරු ශරීර පැහැයත් ඇය ආසියානු එකියක් බව කීවාය. දුරු රටක තනි වූ මට මගේ රට නොවුනත් රට සමීපයේ එකියක හෝ දැකීම නෙතට සැනසිල්ලක් විය. සැමදා ම ලැප්ටොප් පරිඝණකයත් පොත් කිහිපයකුත් මේසය මත තබා ගෙන බොහෝ විට ඇය මටත් පෙර එතැනට අසුන් ගෙන සිටියා ය. මා ඈ දෙස අවධානයෙන් බලා සිටින වග ඇය දකින්නට ඇත. වරක් දෙවරක් මා හා සිනා වූවේ හඳුනාගැනිමට තමා තුළ අකමැත්තක් නැතැයි කියන්නට මෙනි.


"Hello.. I'm Rehan.. you are from South Asia?"


"Hi.. Sarah.. Sarah Baker.. No but my mom is an Indian.. I'm British.."


පුදුමයක් නැත. ඇය සමීප බව දැනුනේ ඇගේ ඉන්දියානු මවගේ රුව ඇයට උරුමව තිබුනු නිසාවෙනි.


අවන්හලේ හමුවූ අප ටිකෙන් ටික සමීප වීය. මුලදි අධ්‍යාපනික කතාබහට පමණක් සීමා වුණු අපේ සංවාද පසුව පුද්ගලික ගැටලු හුවමාරු කරගැනිම දක්වා දුර ගියේය. ඇයගේ කතාබහින් මා තේරුම් ගත් දේ නම් ඇයත් ලන්ඩන් නුවරට ආගන්තුකයෙක් බවය. ඇය තම පවුල ගැන කතා කිරීමට කැමැත්තක් නොදැක්වීය. වරින් වර අසා දැනගත් කරුණු එකට ගොනු කල විට ඇය කුඩා කල ජීවත්ව ඇත්තේ අයර්ලන්තයේ කුඩා ගමකය. දෙමව්පියන්ගේ අකල් මරණයෙන් පසුව ඇය තම නැන්දනියක හා වාසය කරන්නට ලන්ඩන් නුවරට පැමිණ ඇත. ඒ මා ඇය හඳුනාගැනීමට අවුරුද්දකට පෙරය. මාස තුනකට පසුව ඇගේ නැන්දනියද රෝගාතුර වීමෙන් මිය ගොස් ඇති බැවින් දැන් ඇය තනිව ලන්ඩන් නුවර වාසය කරයි. දෙමව්පියන් මිය යාමට හේතුවත් වෙනත් කිසිම නෑදැයෙකු නැති වීමට හේතුවත් ඇය කිසිදා මා සමඟ කියා නැත.මා ද ඒ පිළිබඳව විමසා නැත. ඇය ගැන මා වටහා ගත් දෙය නම් ඈ සැබැවින් ම රහස් සඟවා ගත් මහා සයුරක් වැනිය. කිසිම විටෙක් තම හැඟීම් මුහුණෙන් නොපෙන් වීමට වග බලා ගත් ඈ මා සමඟ කී දේවල් හැර අන් යමක් දැන ගැනීමටද මට ඉඩ නොතැබුවාය.


මෙසේ ළං වූ අප පෙම්වතුන් වීමට වැඩි දිනක් ගත නොවීය. බොහෝ විට අප මගේ නවාතැනේදී පෙම් රස බැලීමට පුරුදු වීමු. සමහර විට ඇය දින දෙක තුන මගේ නවාතැනේ නතර වී සිටියාය. සමහර දිනෙක් මා පැමිණෙන විට නවාතැන අස්පස් කොට කෑම පිළියෙල කර තිබිම මගේ සිතට සතුට ගෙන එන්නක් විය.
ඇගේ නවාතැනට යාමට දිනක් මා කැමැත්ත පළකලද ඇය ඊට එතරම් උනන්දුවක් නොදැක් වීය. ඇගේ නවාතැන තිබෙන තැන පවා දැන ගැනීමට මා අපොහොසත් විය. කෙසේ වුවත් ඇගේ ආදරය හමුවේ එවන් දේ අසා හිත නරක් කිරීමට මට උවමනාවක් නොවීය. ඇය මා හා හාද වන විට කන්‍යාවක නොවූවාය. නමුත් මේ බටහිර රටවල මෙවන් දේ සාමාන්‍ය දේවල් වූ නිසා මා එය නොසලකා හැරීමි. 


දිනක් හදිසියේ ඇ නවාතැන වෙත ආවාය. ඒ වන විට අපේ ඇසුරට වසර හතරක් සපිරී තිබුනි. ඇගේ දකුණු ඇසට ඉහළින් තැලුම් තුවාලයක් විය. එහි වූ රත් පැහැය එය එතරම් පරණ විය නොහැකි බව කියා පෑවේය. හදිසියේ දොරක් වැදුනු බව කීවද එය බොරුවක් බව මට දැනුනි. එහෙත් නොකියන දෙයක් හාර ඇවිස්සීම මගේ පුරුද්ද නොවෙනු හෙයින් මම නිහඬ වීමි.එයින් පසු සාරා දිගටම මගෙ නවාතැනේ නැවති සිටියාය. එළියට ගියද ඒ බොහෝම කලාතුරකිනි. 


මාසයක් පමණ විශේෂ දෙයක් සිදු නොවී ගලා ගියේය. දිනක් සාරා නාන කාමරයේ ස්නානය කරමින් සිටියා ය. ඇඳේ වාඩි වී පොතක් කියවමින් සිටි මට දෙදරනවා මෙන් දැනුනි. අනික් පස තිබු සාරාගේ කොට්ටය එසවූ විට ඇගේ ජංගම දුරකථනය දුටිමි. Eden is calling.. තිරය මත දිස් විය. මා නොදත් මිතුරන් ඇයට සිටි බැවින් මා එය සැළකිල්ලකට නොගෙන පසෙක තබා නැවත් පොත කියවන්නට ගතිමි. ඇය නාන කාමරයෙන් එළියට ආ පසු ඒඩන්ගේ ඇමතුම ගැන මා කීවෙමි. ඒඩන්ගේ ඇමතුම ගැන මට සැකයක් මතු නොවූ නමුත් එය ඇසූ විට සාරා කලබල වූ බව මම දුටිමි. කොතරම් සැඟවීමට උත්සහ කලද ඒ තැතිගැන්නම ඇගේ නෙත් තුල විය. ඉක්මනින් සූදානම් වූ ඇය යනවා නොකියාම කලබලයෙන් පිටව ගියාය. අද සිද්ධියත් එදා සිද්ධියත් සම්බන්ධ වෙන්නට බැරිදැයි මම මගේ ඇසීමි.
________________________________________________
ප.ලි. මේ මාගේ පළවෙනි කෙටි කතාවයි. මෙය තරමක් දිගු නිසා කොටස් දෙකකට දාන්නට තීරණය කළෙමි. ඔබේ අදහස් උදහස් චෝදනා යෝජනා ඉතා සතුටින් භාර ගනිමි. :)

Post Comment

Tuesday, November 8, 2011

මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා..



මම එදාත් සුපුරුදු විදිහට ලෙක්චර්ස් ඉවරවෙලා බම්බලපිටිය පැත්තට ඇවිදගෙන ගියා. ඉන්දියානු කෑම කඩේ පහු කරගෙන යනකොට එබේටම ඒ පැත්ත බැලුනේ ඔයා ඉඳියි කියලා හිතාගෙන නෙවෙයි. ඒත් ඉස්සර අපි දෙන්නා කාටවත් නොපෙනී පැය ගාණක් කතා කරන්න ඕනේ වුනාම එන තැන නිසා පුරුද්දට වගේ බැලුණා. ඒත් හිතපු නැති විදිහට ඔයා මගේ ඉස්සරහා හිටගෙන. ඔයාත් මාව දැක්කා කියලා මම දැක්කා. හිනා වෙන්නද නැත්නම් අහක බලාගෙන යන්නද කියලා මට තේරුනේ නැ. මම එතන එහෙම්ම ම ගල් වුණා වගේ බලන් හිටියා. ඒත් ඔයාට එහා පැත්තෙන් තවත් කෙනෙක් ඉන්නවා කියල දැක්කාම මම නතර නොවුණා නම් කියලා හිතුනා.


ලා කහ පාට ඉරි වැටුණු අත් දිග කමිසේ වැලමිට ගාවට නමලා.. කලිසමට උඩින් දාලා.. මතකද ඔය කමිසේ ගන්න ගිය වෙලේ හරියන එකක් වත් හොයාගන්න බැරි වුනාම අපි වෙන කඩේකට යන්න හදද්දිම තමා මගේ අත වැදිලා රැක් එකක තිබුනු කමිස ඔක්කෝම ටික පෙරළුනේ.. ඒ කමිස එකින් එක අහුලන කොට තමා ඔය කමිසේ ඔයා අතට අරන් මේක හොඳයි නේ කියලා මගේ ඇහුව්වේ.. අපෝ.. එදා නම් මම කමිසේ හොඳ ද නරකද කියන්න නෙවේයි ඒක කමිසයක්ද නැද්ද කියලා වත් කියන්න බැරි තරමට බය වෙලා හිටියේ.. වට්ටපු කමිස ඔක්කෝම අපිට ගන්න වෙයි කියලා.. කොහොම වුනත් එදා ඔයා කමිසෙත් අරන් එළියට අවේ සඳු හැමදේම වෙන්නේ හොඳට නේ කියාගෙන.. හැමදේම වෙන්නේ හොඳට නම් අද ඔයා මාත් එක්ක නැතුව වෙන කෙනෙක් එක්ක ඉන්නේත් හොඳටද විදූශ?


ඔයා මාව දැක්ක නොදැක්ක ගාණට කාර් එකට නැග්ගා. ආහ්.. ඔයා දැන් කාර් එකකුත් අරන්නේ.. නැත්නම් ඕකත් දෑවැද්දට හම්බු වෙච්ච එකක්ද? අනේ කමක් නැ.. ඔයා සතුටින් වෙන්නැති නේ.. 
____________________________________________________
බීප්..බීප්... බීප්..බීප්..
one message received. 
Vidhusha



මේ මොකද මේ වෙන්න යන්නේ? විදූශගෙන් මැසෙජ් එකක්.. මට පුදුමත් හිතුනා ඒක දැක්කාම. අද මූණටම හම්බු වෙලත් මාව දැක්කේ නැ වගේ කාර් එකට නැගලා ගිය මනුස්සයාගෙන් මැසෙජ් එකක්? කියන්න දෙයක් තිබුනා නම් කටින් කියන්න තිබුනානේ... 


"සඳු.. ඔයාට කොහොමද? ඔයා මාත් එක්ක තරහින්ද? අද මම ඔයාව දැක්කා. ඒත් ඒ වෙලේ කතා කරන්න ගියා නම් නතාශාටත් ඔයාව introduce කරන්න වෙනවා. එහෙම වුනා නම් එයට ඕනෙනේ වෙනවා ඔයාවත් අපි එක්ක කාර් එකේ දාගෙන යන්න. ඒ එයාගෙ හැටි. මගේ යාලුවෝ එයාගෙත් යාලුවෝ  කියල තමා එයා කියන්නේ. එහෙම වුනානම් ඔයාටත් අමාරුයි නේ.. ඒකයි මම කතා නොකර ගියේ.. මාත් එක්ක තරහ වෙන්න එපා සඳු.. මම අසරණයි. take care. බුදු සරණයි.."




ඔයාගේ යාළුවෝ? මට එහෙම අහලා මැසේජ් එකක් යවන්න හිතුනත් බැඳපු ඔයාගේ ජීවිතේට දැන් මම පරණ යාළුවෙක් විතරයි කියන එක මට පිළිගන්න වෙනවා. කමක් නැ විදූශ මම තරහා නැ. ඔයා මාත් එක්ක කතා නොකර ගියපු එකටවත්, මාව දාලා ගිය එකටවත්, මට දීපු පොරොන්දු කවදාවත් ඉටු නොකරපු එකටවත් මම තරහා නැ. ඒත් ඔයා අසරණ වෙලා නැ විදූශ.. ඔයා නෙමෙයි මමයි අසරණ. ඔයාව අමතක කරන්න බැරුව දුක් විඳින මමයි අසරණ.


මම ගමකින් ආපු කෙල්ලෙක්. මගේ අම්මලා තාත්තලා ගමේ මිනිස්සු. ඒත් ඔයා ඒවා දැන ගත්තේ අද ඊයේ නෙමෙයි විදූශ. මම කැම්පස් ආපු මුල් දවස් වල සීනියස්ලට බයෙන් හිටපු මාව තනියම අරන් ඔයා මාත් එක්ක ගොඩාක් කතා කලා. බය වෙන්න එපා නංගියෝ.. ඕනේ උදව්වක් කරලා දෙන්නම්.. මොකද ඔයා බය වෙලා වගේ ඉන්නේ? ඔන්න ඔහොම ලං වෙච්ච ඔයා අන්තිමට මගේ පෙම්වතා වුනා. පළවෙනි වසරේදි  තුන්වෙනි වසරේ අයියා කෙනෙක් එක්ක ගොඩ ගිය එක ගැන මට පුංචි ආඩම්බරයක් නොදැනුනාම නොවෙයි.


ඒත් මොනා කරන්නද.. ඔයාගේ අම්මලට ඕනේ වුනේ හොඳ සල්ලි තියෙන ලේලියක්.. ඒ ගොල්ලෝ වැදගත් කියලා කිව්වේ දුක් මහන්සියෙන් හේන් කොටලා සල්ලි හොයාගෙන මාව කැම්පස් එවපු ගමේ ඉන්න මගේ අම්මලා තාත්තලා නෙවෙයි. කාර් වලින් යන එන.. ඒ සී කාමර වල ඉන්න ටයි දාපු අය. විදූශ මම ඔයාලගේ අම්මලා ගැන දැන ගත්තේ මේ ලඟදී.. ඒත් ඔයා එයාලව දැන ගෙන හිටියා නේද? මට ආදරෙයි කියලා කියන්න කලින් ඔයාට මතක් වුනේම නැද්ද ඔයාලගේ අම්මලා මට කවදාවත්ම කැමති වෙන එකක් නැ කියලා? "නඟා මම ඔයාට ආදරෙයි. මගේ ජීවිතේ දැන් ඔයා විතරමයි.." කියලා කියද්දි අම්මලා ගැන මතක් වුනේම නැද්ද? ඔයා නෙමෙයි විදූශ දැන් අසරණ මම. 


"ආහ් සඳු ඇත්තද විදූශ බැන්ඳා කියන්නේ?" කැම්පස් එකේ ළමයි මගෙන් අහන කොට මම මොනවද කියන්න ඕනේ කියලවත් ඔයා මට කියලා දුන්නේ නැ එදා. 


"සඳු මට අපේ අම්මලට පිටින් යන්න බැ.. මට නතාශාව බඳින්න වෙනවා. මට සමාවෙන්න. මම ඔයාට හැමදාම ආදරෙයි සඳු..ඒත් අම්මලා ඉල්ලන එකම දේ නොදී ඉන්න මට බැ සඳු.." 


එතකොට මගේ අම්මලා මගෙන් බලාපොරොත්තු වෙන දේවල්? ඒවා ගැන ඔයාට ගාණක් නැද්ද විදූශ? 


ඔයා දැන් රින්ග් කට් දුන්නට ඔයා එවපු මැසෙජ් එකට එවන්න රිප්ලයි එකක් මා ලඟ නැ. ඒත් ආයෙත් ඔයාව දැක්කොත් එදාටත් මම ගල් ගැහිලා නතර වෙලා බලගෙන ඉඳියි. කියන්න දේවල් කොච්චර තිබුණත් ඒ හැමදේකින් ම වෙන්නේ ආයේ ආයේත් තුවාල පෑරෙන එක.. ඒ නිසාම ඔයා කතා නොකර යන එක හොඳයි විදූශ.




කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹ පෙනී
නැවති බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී



ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා
සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා


සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරි....

Post Comment

Wednesday, November 2, 2011

ජීවිතය සොයා යන්න ඔබ...



හමුනොවෙන සේ ගිවිස
වෙන්වුනත් අප දෙදෙන
ආයෙමත් හමුවෙලා
ජීවිතේ මං පෙතේ


රිදවූ හැටි මා එදා
ඔබගේ අහිංසක හිත
සිහිවෙලා උණු කඳුළු
ගලනවා මා නෙතට


දහස්වර ඔබේ නෙතු
හඬා වැටෙනවා බලා
නික්මුණා මතකයි මට
ඔබව තනිකර දමා


ආයෙමත් ආදරය
ඉල්ලනවා ඔබ මගෙන්
නමුදු දෙන්නට තරම්
ආලයක් නැ සතුව


රැගෙන ගියා හැමදේම
අතරමඟ මා දමා
ඔහුත් සමඟින් මගේ
ආලයත් හැරගියා


දෙන්නට තරම් ආදරය
මා සතුව නැති නිසා
ගල් වෙච්ච හදවතත්
ඔහු නමින් වෙන්වෙලා


මගේ කඳුළු පිසලන්න
පැමිණියත් ඔබ මෙලෙස
රැදෙන්නට මා ළඟින්
නොඉල්ලමි මා ඔබෙන්


සිඳුණු තටු සලා යලි
පියඹන්න බැරි නිසා
පියාඹා යන්න ඔබ
මා වෙතින් නික්මිලා

Post Comment

Thursday, October 27, 2011

Red Riding Hood Quotes

"Who says living is easy? Not me. I know it is not easy as the way we want. but it is not hard as we think either."
 "This is a game, a game of living. A game is never easy but is not impossible to play."
"If you want to be happy stick to them who need you..not to they whom you need.."
"Once in a while enjoy the mess in your life without trying to clean it up. Because you can't clean up everything but you can have some fun in that mess. Enjoy your messy life also."
"Sometimes we should not say everything we want to say.. keep some for own self"

Post Comment

Monday, October 17, 2011

නික්මිලා යන්න පෙර..



දහක් දුක් සිත් තුලේ තෙරපිලා
තිබෙන මුත් සිනාසෙමි මම
හඬන්නට බැරි නිසා මට
ලොවට රහසින් සැඟවිලා


එන්නට එපා මා ළඟට
එකම සැරයක් කීවේනම් ඔබ
එන්නේ නෑ මම ඔබ වෙතට
රිදවාගන්නට මගේ හදවත..


ඔබත් නිහඬව සිටී බලා
මමත් නිසලය තනිවෙලා
නොකියාම මේ ලෙස නික්මිලා
යන්නේ කිම නෑ මට වැටහිලා


එපා පබඳින්න මුසාවන් මට
යන්න ඔබ නික්මිලා දුරටම
යන්න කලියෙන් කියනවද මට 
නික්ම යන්නට කරුණු කිම

Post Comment

අකීකරු වදන්

වරක් නොව
සියදහස් වාරයක්
දොස් පැවරීමි මම
මගේ නොහික්මුනු
මුවට..
අකීකරු වදන්
පැවසීය ආදරය ඔබට
මා වෙතින් ඉවතට
නුඹව දුර ගෙන ගිය
ඒ අකීකරු වදන්
නොකිව යුතුව තිබුණි මා..

Post Comment

දිනක්..


ජීවිත නවාතැනේ
දිනක
ඔබ මා හමුවිය
හදිසියේ ම...
මගේ නෙතු අද්දර
නතරවිය ඔබේ නෙත
ඔබේ වදන් ළඟ
නැවතුණා මගේ සිත..
නොදැනීම හමුවෙලා
නොදැනීම ළං වුණා..
ළං වෙච්ච අපේ නෙත්
දුරස් නොවුනත් සබඳ
හදිසියේ ම
දිනක්..
දුටිමි අප
නොදැනීම
වෙන්වෙලා වග..

Post Comment

Sunday, October 16, 2011

එන්නට නම් එපා ඔබ....


පියවුණු දිනක මාගේ
හඬා වැළපෙන නෙත්
එන්නට නම් එපා ඔබ
දකින්නට නිසල මා
දරන්නට බැරි වෙයි මට
නැඟුනොතින් එකම එක
උණු කඳුළක් ඔබ නෙතට...

පියවුණු දිනක මාගේ
හඬා වැළපෙන නෙත්
එන්නට නම් එපා ඔබ
දකින්නට නිසල මා
දැවෙයි මා හෙලුවොත්
ඔබ එකම එක සුසුමක්
මා වෙනුවෙන් නොගැහෙන හදින්...

පියවුණු දිනක මාගේ
හඬා වැළපෙන නෙත්
එන්නට නම් එපා ඔබ
දකින්නට නිසල මා
මියෙයි මා නැවතත්
දුටුවොතින් නුඹ ශෝක වනු
දෙස බලා නිසල මා..

Post Comment

නොදන්නාකම....

ඔබ මට ආදරෙයි
දැනුනු නිසා මට
පෙරලා ආදරය 
දුනිමි ඔබට මම
නමුත් ඔබ නැතිලු
ආදරේ මට
කිව්වාට ඔබ එහෙම
දුන්නු ආදරයක්
යලිත් අරගන්න
දන්නෙ නැ මම තවම...

Post Comment

Saturday, October 15, 2011

යන්න ගිය ඔබ..

යන්න ඕනෙමයි..
ඉන්න බෑ මට
ඔබ කිව් නිසා..
යන්න දුන්නා
ඔබට මම...
ඔබ ගියා
ඔබේ ආදරේ සොයා..
නමුත් ඒ
මගේ ජීවිතෙන්ම විතරයි..
ඔබ යන්න ගියේ..
හැමදාම හදවතේ
ඉන්නවා ඔබ..
ආදරණීයම
මතකය ලෙසින්....

Post Comment

Saturday, October 8, 2011

ඔබ..

රිදුම් දෙන දිගැස් වල
ලැගුම් ගත් කඳුළ ඔබ
වේදනා පිරුණු හද
දවාලන සුසුම ඔබ


නමුදු ඒ කඳුළ තුළ
පීරි ඇත ඔබෙ සුවඳ
කෙසේ මම් සලන්නද
ඔබ රැඳුණු ඒ කඳුළ


දවන මුත් සුසුම්පොද
නිවාදමමිද කෙලෙස
ඔබෙ මතක රැඳුණු තැන
නිධන් ගත් ඒ සුසුම

Post Comment

Friday, October 7, 2011

අපේම වී අප ඉපදේවා..

සිනිඳු සුදු වැලි ඇතිරුනු වෙරළේ ඉඳගෙන අපි ඈත සිතිජය දිහා ඔහේ බලාගෙන හිටියා. ඇත්තටම සිතිජ ඉම ආදරණීය පෙම්වතුන්ගේ දයාබරම බලාපොරොත්තුව වෙන එක ඒතරම් පුදුමයක් නෙවෙයි. සිතජයේ ඈත අහසයි මුහුදයි එකට පෑහිලා. ඒ සිතිජ රේඛවේ ඉදන් ඉර එළිය මුළු පලාත පුරාම විහිදිලා. රන් පාට ඉර එළිය වැටුණු මුහුදු වතුර සතුටින් නටනවා. සිහින් හඬින් හෙමින් සැරේ  නැගෙන රැළි එකිනෙක ඇවිත් සුදු වැල්ලේ රටා අඳිනවා..

අන්න අදත් අර පොඩි ළමයි ටික වෙරළට ඇවිත්.. මගේ දිහා බලලා පුරුදු විදිහට පුංචි කොලු පැටියෙක් හිනා වුණා. මමත් වෑයමින් පුංචි හිනාවක් දෙතොලට අලව ගත්තා.. ඒ ළමයින්ට වෙනසක් නැ. ඔහේ සෙල්ලම් කරනවා.
"ඇත්තටම අද වෙනසක් තියෙනවද?" මම මගේ හිතෙන් ම අහගත්තා..

වෙරළ වෙනදා වගේමයි.. හෙමින් සැරේ හොරෙන් ඇවිත් කකුල් තෙමලා ඈතට ඇදිලා යනවා.. බහින ඉර.. එකෙත් වෙනසක් නැ.. රන් පාට ඉර එළිය.. වෙනදාටත් වඩා සනීපයි වගේ... වෙනදා වගේම පාට පාට සමනල්ලු වගේ සරුංගල් අහස අරක් කරගෙන.. සුළගත් වෙනදා වගේ ඇඟේ ගෑවි නොගෑවි යනවා.. වෙලාවකට කොන්ඩෙත් අරන් යන්න හදනවා..

මම ඈත මුහුද දිහා බලන් හිටියා. ඈත පුංචි තිතක් වගේ එකක් පේනවා. බෝට්ටුවක් වෙන්නැති. හැමදාම උදේට වෙරළේ නවත්තලා තියෙන නිල් පාට බෝට්ටුවද දන්නේ නැ. ඒත් ඉතින් මොක වුණාම මට මොකෝ.මටත් හිතන්න දේවල් නැ වගේ. ඒත් ඉතින් හිතනවා කියලා මොනාවා ගැන හිතන්නද? මට තේරෙන්නේ නැ.

මම ආයෙත් නිල් පාට අහස දිහා බැලුවා. පාට පාට සරුංගල් මග ඇරලා මගේ ඇස් සුදු පාට වළාකුලු හඹාගියා.සුදු පාට අද හරිම සුදුමැළි වෙලා වගේ. මම මටම කියාගත්තා. අනේ මන්දා.. හැමදේම වෙනදා වගේමයි..ඒත් ඇයි මට වෙනසක් දැනෙන්නේ?

මොකක්දෝ මහා මූසළකමක් දැනෙනවා. වැස්සක්වත් වැටෙන්නද මන්දා.. නෑ වැස්සක් නෙවියි. අද දවස වෙනස් තමා..අද ඔයයි මමයි එක ළඟ ඉඳගෙන හිටියට ගොඩාක් දුරස් වෙලා. ගව් ගාණක් දුර ගිහින් වගේ. වෙනදා නොනවත්වා දොඬමළු වෙන ඔයා අද ගොළු වෙලා. හැමවෙලේම හිනා වෙන ඔයාගේ ඇස් මළානික වෙලා රතු වෙලා. අඬලද මන්දා.ඒත් ඔයා හැඟීම් පිටට පෙන්නන කෙනෙක් නෙවියිනේ. ඔහේ හිස් බැල්මෙන් බලාගෙන ඉන්නවා.

ඔය ඇස් දෙකට එබිලා අහන්න දේවල් ගොඩාක් මගේ හිතේ තෙරෙපෙනවා. එත් ඔය ඇස් දිහා බලාගෙන මුකුත් අහන්න බැ. ඔයා නොකිව්ව දාහක් දේවල් ඇස් වල ලියවිලා. ජීවිතේ හැමදාම මාත් එක්ක සෙල්ලම් කළා. අදත් එහෙම දවසක්.

අපි කතා නොකර කොච්චර වෙලා හිටියද මන්දා. දැන් හොඳටම හවස් වෙලා. ඉර මුදුදේ ගිලෙන්න ඔන්න මෙන්න වගේ. සරුංගලුත් එක එක බිමට පාත් වෙනවා.
"අපි අපිට අයිති නැ" ඒ කටහඬ කාගේද?. ගොඩාක් වෙලා නිහඬව හිටපු ඔයා එකපාරටම සිහිනෙන් අවදි වුණා වගේ කියනවා.
 "හ්ම්ම්ම්..." කියන්න වෙනදෙයක් හිතගන්න බැරි නිසා මම හූමිටි තියනවා.

අද අපි මුණගැහෙන අන්තිම දවස. මට මොනාද කරන්නේ කියලා හිතාගන්නත් බැ.
"අඬන්නද?" මම මගේ හිතෙන් ඇහුව්වා.
"අඬල වැඩක් තියෙනවද?" හිත ආයේ මගේන් අහනවා.
"අනේ මන්දා"
"එයා හම්බුවෙන අන්තිම දවසේ අඬන්න එපා. අන්තිම මතකය කඳුළෙන් ලියන්නේ මොකටද..හැමදාම වගේ ලස්සන හිනාවෙන්ම ලියන්න" හිත කියනවා.
"ඒ කතාවත් ඇත්ත. ආයේ ඉතින් දවසක හමුවෙන්නෙ නැත්නම් අඬලා වෙන්වෙන එක හරි නැනේ. මොනා වුනත් එයා මගේ හිනාවට ආදරේයි. එයා මුලින්ම මට කැමති වුණේත් ඒ හිනාවටනේ. හිනා වෙනකොට මගේ ඇස් දිළිසෙනවලු.. අනේ මන්දා.එයා තමයි කියන්නේ..". මම මගේ හිතත් එක්ක දොඬමළු වුණා.

ටික ටික රෑ වෙනවා.
"දැන් හොඳටම හවස් වෙලා. ගෙදර යන්න" ඔයා කියනවා.
හිත එක්ක කතා කර ඉන්නකොට නොදැනීම මම ඔළුව ඔයාගෙ උරිස්සට තියාගෙන.
"අනේ මට මෙහෙම ඉන්න දෙන්න.." මම හිතින් ඇඬුවා. ඒත් හිත කිව්වා වගේ අඬලා ඔයාගෙන් වෙන්වෙන එක හරි නැ. ආයාසයෙන් හිනාවක් මවාගෙන "ඔයා යන්නේ නැද්ද?" මම අහනවා.
අන්තිම දවසෙත් එයා යන නොයන එක හොයනවා. අනේ මන්දා ගෑණු ගතියනේ. ආදරේ කරන මනුස්සයා ගැන හොයන එක ඉතින් ආසම දේ නේ. "මමත් යනවා." ඔයා ආයේ අහක බලාගෙන.
මම උරිස්සට හේතු වෙලාම ඉන්නවා. අයේ ඉතින් මෙහෙම දවසක් එන්නේම නැනේ.
"මේ ලොකේ විනාශ වෙලා අයේ මැවෙනවා නම්.. එතකොටවත් අපි අපේම වෙලා ඉපදේවි.." ඔයාටත් හිතෙන දේවල්.. මාව දාලා යන්න බැරිකමටද කොහෙද ඔහේ කියවනවා.

මම හිතින් පෙර දවස ගැන හිතුවා. දවසක් වෙරළේ අත් දෙක අල්ලගෙන අපි දෙන්නා ඇවිදන් ගියා. "අර" ඔයා බිමට අත දික් කරලා කිරි කවඩියක් පෙන්නුවා. ඒක කිරිම කිරි පාටයි. හදවතක හැඩයේ. ලා රෝස පාටින් අමුතු වයිරමක් වැටිලා. හරියට සුරංගනාවියෙක්ගේ හදවතක් වගේ.
"ඒක වාසනාවන්ත කවඩියක්" ඔයා අතට අහුලලා ගන්න ගමන් කිව්වා.
"වාසනාවන්ත කවඩියක්?" මගේ මූණේ ප්‍රශ්නාර්ථයක්.
"ඔව්. හදවත් හැඩේ කවඩි හොයාගන්න නැනේ වැඩිය. ඒක වාසනාව ගේනවා." ඔයාගේ ලේන්සුවෙන් ඒක හොඳට පිහිදන ගමන් ඔයා කිව්වා.
"ඉතින් ඒකේන් මොනාද ලැබෙන්නෙ?" මම ආසවෙන් ඒ කවඩිය දිහා බලගෙන ඇහුව්වා.
"ආදරේ"
මගේ ඇස් ඇතුළට එබිලා වගේ ඔය කිව්වා.
"හෙහ් හෙහ් හෙහ්.. ආදරේ? හ්ම්ම්ම්ම්..." මම හිනා වුණා. ඔයාගෙත් මූණේ ලස්සන හිනාවක්.
"ආහ්..මේක පර්ස් එකේ දාලා තියාගන්න.." ඔයා කවඩිය මගෙ අතට දුන්නා. "එතකොට ඔයාට?" ආයේ ප්‍රශ්නයක්.
"මට ඔයාගේ ආදරේ තියෙනවනෙ.. ඔයා කවඩියේ ආදරේ තියගන්න.. " අනේ හිනාවෙලා එහෙම කියනකොට ඔයාගේ ඇස් වල තියෙන කාන්තියට මම වශී වෙලා වගේ බලන් හිටියා.

ඒත් දැන් ඒ කවඩිය මගේ ලඟ නැ. කවඩිය පර්ස් එකත් එක්කම හොරු අරන්. දැන් ඔයාවත් හොරු අරන් යනවා. මගේ ළඟ කාගෙවත් ආදරයක් නැ. ඇස් දෙකට කඳුළු උනනවා. ඉක්ක්මනට මම අහස දිහා බැලුවා. එතකොට කඳුළු බිමට වැටෙන්නෙ නැනේ..
"ඇයි මැණිකේ?"
"නැ මුකුත් නැ" ආයාසයෙන් හිනාව මවාගත්තා. "එහෙනම් දැන් යන්න මගේ මැණිකේ. තව රෑ වුනොත් ගෙදරින් බය වෙයි."
"හ්ම්ම්ම්..." මම ඔයාගෙ අතට වාරු වෙලා හෙමිහිට නැගිට්ටා.
අපි දෙන්නා යන්නේ දෙපැත්තකට බව නොදන්නවා නෙමෙයි. ඒත් "යමු ද" කියලා අහන්නම හිතෙනවා. නැ එක්කෝ ඕනේ නැ. මම හිනාවෙලා "යන්නම්" කියලා ඔයාට පිටිපස්ස හරවලා ඇවිදන් යන්න ගත්තා. මම දන්නවා ඔයා මං දිහා බලන් ඉන්නේ. මම දන්නවා. ඒත් මට හැරිලා බලන්න බැ. කම්මුල් දිගේ පහළට බහින කඳුළු ඔයා දකීවි. පාර අයිනේ කඩල විකුණන කරත්තේ පොකට් රේඩියොවෙන් වාදනය වෙන ගීතයක් ඒ අන්තිම මොහොතට පසුබිම් සංගීතය සපයනවදෝ කොහෙද..
"අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී ඇරඹී
විශ්වය අළුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා.."

Post Comment

Thursday, October 6, 2011

මතකද හැන්දෑවේ..

"මතකද හැන්දෑවේ
අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුණා..."

මේ ගීතය ගුවන්විදුලියෙන් විකාශනය ඇසුණු විට මටත් නොදැනීම මගේ හිත අතීතයේ දවසකට පියමැන්නා.

එදා නම් මන්දාරම් අඳුරයි රෑ අඳුරයි දෙකම එකට එකතු වෙලා අපි වටේ හිටියා. මතකද ඒ හැන්දෑව?
කොළඹ රෑට තමා අවදිවෙන්නේ. ඒ වගේ රෑක සිරි පොද වැස්සේ අපි දෙන්නා ඇවිදගෙන ආවා. කුඩයක් වත් අතේ නැතුව.. ඒත් ඒ පොද වැස්ස අපිට බාධාවක් වුණේ නෑ..

අපි පෙම්වතුන් නෙමෙයි කියලා දැනන් හිටියේ අපි දෙන්නාම විතරයි. එක ළඟින් එකට අඩි තිය තිය හෙමින් කොඳුර කොඳුර එනකොට මිනිස්සු අපි දිහා බලන් ඉන්නවා කියලා අපිට මතක් වුණේ නැ නේද?

වැස්ස ගැන අපි කතා කළා මතකද? වැස්සට තෙමෙන්න මම හරිම ආසයි කියල මම කිව්වාම ඔය මගේ දිහා ඇස් හීන් කරලා බලලා කිව්ව "මං ඔයා වැස්සට තෙමෙනවට ආස නැ" කියලා.
මට පුංචි හිනාවකුත් ගියා ඒක ඇහුවාම. "ඔයා මාව ලෙඩ වෙයි කියලා බයද?" මම ඇස් ලොකු කරලා ඇහුව්වෙ ඔව් කියලා අහගන්න තියෙන ආසාවට.

 "ඔයා වැස්සට තෙමුණාම ලස්සන වැඩියි. එතකොට හැමෝම බලනවා ඔයා දිහා." හීන් කරපු ඇස් දෙකෙන් හිනාවෙන ගමන් ඔයා කිව්වා.
 "ඉතින් හැමෝම බැලුවාම මොකද වෙන්නෙ?" මම එහෙම ඇහුව්වෙ ඔයාගෙ ලස්සන ඇස් හිනා වෙන හැටි බලන්න.
ඒත් ඉතින් ඔයාගේ හැටි මට වෙනස් කරන්න බැ කියන්නඩ වගේ "එක අතකට මට මොකෝ නේද? බලනවා නම් බලපුවාවේ.." අහක බලාගෙන ඔයා කිව්වා.
ඔයා හැමදාමත් එහෙමයි. ලස්සන කතාවක් කියලා ඒක සබන් බුබුළක් පුපුරවනවා වගේ එකපාරටම නැති කරලා දානවා.මගේ මූණ වෙනස් වුණා කියලා ඔයා දකින්න ඇති, "තරහද?" හොරෙන් බලලා ඔයා ඇහුව්වා." මොකට තරහා වෙනවද" මමත් තරහ ඇති නැති ගාණට කිව්වා.
"හ්ම්ම්ම්.... අන්න බස් එකක්. දුවලා ගිහින් නගිමුද?" බස් නැවතුමේ නවත්තලා තිබුණ බස් එකක් දිහාට අත් දික් කරන ගමන් කිව්වා.
"අනේ අපි තව හෝල්ට් එකක් ඇවිදිලාම බස් එකට නගිමු?" මගේ හිත කෑගැව්වා. ඒත් ඉතින් හිත කෑගැහුව්වට ඇහෙන්නේ නැනේ.
"හා යමු" මමත් පය ඉක්මන් කරන ගමන් කිව්වා.
අපි දෙන්නා දුවලා ගිහින් බසයට ගොඩ වුණා.අපේ වෙලාව හොඳකමද නැත්නම් මල්සරාගේ වෙලාව හොඳකමද දන්නේ නැ අපි දෙන්නාට එක ළඟ ඉඳගන්න සීට් එකක් හම්බුවුණා.

මතකද? මම යාන්තමට ජනේලේ ඇරලා සීන් සිරි පොද මූණේ වද්ද ගන්නකොට ඔයා හොරෙන් බලාගෙන හිටියා? හ්ම්ම්ම්... ඔයා හොරෙන් බලන් හිටියට මම ඒක දැක්කා. මගේ ඇස් පියාගෙන වගේ හිටියට ඒ ඇස් හැරිලා තිබුණේ ඔයා දිහාවටමයි. හැමදාමත් ඒ ඇස් හොරෙන් ඔයා දිහාවටම හැරිලා බලන් ඉදිවි.. ඔයා දන්නෙත් නැතුව..

අපි දෙන්නා ගොඩාක් දේවල් කතා කළා. සරසවිය ගැන.. අපි දෙන්නාගේ ඉස්කෝල ගැන.. ඔයාගේ පරණ ප්‍රේම සම්බන්ධයක් ගැන.. මගේ පළවෙනි ප්‍රේම සම්බන්ධය ගැන.

ඒත් ඒ ඔක්කෝම අතරේ මට කියාගන්න බැරි තව දෙයක් හිත ඇතුළේ අඬ අඬා හිටියා. අපි දෙන්නා අපේ පරණ දේවල් කතා කරන කොට අපේ ඇස් ගැටුණු හැම වෙලාවකම මේ මොහොත ගැන කතා කළා. මේ මොහොතේ අපි දෙන්නව වට කරන් හිටිය ඒ අමුතු හැඟීම ගැන.. ඒ ළෙන්ගතුකම ගැන.. ඇස් කතා කළා.. ඇස් නොනවත්වා දොඬමළු වුණා. මටත් ඕනේ වුණා ඒ මොහොත ගැන දොඬමළු වෙන්න.. ඇස් දෙක පියාගෙන ඒ මොහොත විඳින්න..ඔයාගේ ඇස් වලත් ඒ ආසාව එදා මං දැක්කා. ඒත් සමහරවිට ඒ මොහොතේ විතරක් තිබුණ දෙයක් වෙන්නැති.

ඇස් දෙකෙන් කතා කරපු ඒ හැඟීම් ඔයාගේ කනට කොඳුරන්න මට ආසව තිබුණා. ඒත් ආයේ දවසක් එයි නේද කියලා හිතලා මම ඒදා නිහඬ වුණා. අනේ..ඒ වගේ දවසක් අයේ එන්නේ නෑ කියලා මම දැනන් හිටියා නම්.. එහෙනම් ඔයාට කියන්න තිබිච්ච ගොඩක් දේවල් මම ඒ මොහෝතේ කියනවා. ඒත් ජීවිතේ අපි හිතන දේවල්ම වෙන්නෙ නෑ.

වෙනදට බස් එක ඔයා බහින තැනට එන්න පැය ගාණක් යනවා. ඒත් එදා බස් එක ඉගිල්ලුනාද කොහෙදෝ.. ඔයා බහින තැනටම ඇවිත්..
"තනියම යන්න පුළුවන්ද?" එතරම් සෙනග හිටියෙ නැති හිස් බස් එක වටේ බලලා ඔයා ඇහුව්වා.
"මට තනියම යන්න පුළුවන්" මම කිව්වා.
ඒත් ඔයාට ඇහුණේ නැති වචන ටිකකුත් මම කිව්වා "ඔයාත් එනවා නම් මම කැමතියි".
ඔයාට ඒක ඇහුණේ නැ. ඔයා ඇස් දෙකෙන් හිනා වෙලා "ගෙදර ගිහින් මට මැසෙජ් එකක් එවන්න. අමතක කරන්න එපා" කියලා බැහලා ගියා.
මට ඔයා දිහා අයෙත් වතාවක් බලන්න ඕනේකම තිබුණා. ඒත් මගේ ඇස් වලට දන්නේම නැතුව ආපු කඳුළු ඔයා දැක්කොත් කියලා බය හිතුණ නිසා ඔයා බහින දිහා බලන්නෙ නැතුව ජනේලෙන් එළිය බලගෙන හිටියා. ඔයා බහින්න ෆුට් බෝඩ් එකට ගිහින් අයේ හැරිලා බලනවා යාන්තමින් වගේ ඇස් කොනින් මම දැක්කා. අනේ මට කෑගහලා අඬන්න ඕනේ වුණා. ඒත් මම කඳුළු හිර කරගෙන ජනේලෙ දිගේ බේරෙන වැහි පොද දිහා බලන් හිටියා..

එදායින් පස්සේ අපි අතරේ ගොඩාක් දේවල් වුණා.. ඒ කිසිම දෙයක් මේ තරම් ආදරණීය විදිහට හිතට දැණුනේ නෑ. ආයේ ඒ වගේ දවසක් එන්නේ නෑ කියලාත් මම දන්නවා. ඔයා මගේන් ගොඩාක් දුරටම ගිහිල්ලා.. හැමදාම ඔයා කළා වගේ මගේ සිහින සබන් බෝල වගේ පුපුරවලා හැරියා. ඒත් ඔයා එහෙම කලේ හිතලා නෙවෙයි කියලාත් මම දන්නවා. ඔයාට එන්න පුළුවන් නම් ඔයා නැවිත් ඉන්නේ නැ කියලත් මම දන්නවා. ඒත් ඔයා අයේ එන්න බැරි තරම් දුරකට ගිහින්.. එහෙම ගියේ ඇයි කියලවත් ගියේ කොහොමද කියලවත් මම අහන්නේ නැ.. ඔයාත් ඒවට දෙන්න උත්තර දන්නෙ නෑ කියලා මම දන්නවා..

ඒත් අයේ එකම එක සැරයක් ඒ දවසට යන්න තියෙනවා නම් ඒ වෙනුවෙන් ඕනේම දෙයක් කැප කරන්න මම ලෑස්තියි. ඒ වගේ සිරි පොද යටින් මන්දාරම් අඳුරේ මම ඊට පස්සෙ ඕනේ තරම් ඇවිදලා ඇති. ඉස්සරහටත් ඒ වගේ දවස් ඕනේ තරම් මට මුණගැහෙයි. ඒත් ඒ එක දවසක්වත් එදා හැන්දෑව වගේ වෙන්න නැ.. ඔයා ආයෙත් වැස්ස යටින් කොඳුර කොඳුර යන්න එන්නේ නැ..

ඇස් දෙකට නොදැනීම ආපු උණු කඳුළක් ඇස් දෙක ඇතුළේ ඉඩ නැති වෙලා කම්මුල් දිගේ පහළට බැස්සා.. අතීතයේ මාවතක සක්මන් කර කර හිටපු මම මගේ හිතත් එකතු කරගෙන ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ ආයේ සින්දු විකාශයන නොවෙන්නම ගුවන්විදුලිය පෙට්ටියකට දාල වහන්න හිතාගෙන..

Post Comment

Tuesday, October 4, 2011

හිත හොඳ මිතුරා

හදිසියේ බුකියෙන්
මුණගැහුණු ඔහු
මිතුරෙක්ය අවංක
සෑබැ සොයුරෙක්ය
හිත හොඳ කොල්ලෙක්ය..
සුපුරු මුහුණ 
ඇස නොගැටුනි 
දිනයක් දෙකක්
අක්‍රීය කොට බුකිය
නොකියාම ඔහු...
සියක් මිතුරන් මැද
දැණුනි ඔහු නැති 
අඩුව..


Post Comment

Monday, October 3, 2011

හිස් ම හිස් පිටු

ප්‍රමේයන් සූත්‍ර
සයින් කොස් ටෑන්
කෝණ වල අගය
පාද කීයක් ඇද්ද
පයිතගරස්ලාටත්
වෙන වැඩ නැද්ද මන්දා
ප්‍රමේයන් සොයාගෙන
දිළිඳු මා පෙලනවා
ඉලක්කම් තටු කරන්
ඉගිනෙලවා මා වටේ
හරි ඒවා අල්ලන්නේ
කොහොමදැයි නොතේරේ
ධන වෙනවා ඍණ වෙනවා
ගුණ වීලා බෙදෙනවා
වර්ගඵල පරිමාව
ධරිතා සොයනවා
පැය තුනම ඉවරයි
ලියපු කොල මට දෙන්න
ටීචර් කියනවා ඇහිලා
කොලෙන් කොලේ ඇමිණුවා
නමයි පන්තිය අනු අංකයත්
සමඟ විෂයේ නම ලියා ඇති
හිස් ම හිස් පිටු ටිකක්
මගෙ නමින් වෙන් වෙලා..

Post Comment

Here I am..

Lovely moon is filling the world with light
shinning stars are giving beauty to the night
to get moon's love, flowers having a fight
but here I am in a dark world, no-one in my sight

sky is never be alone till the sun comes there
gardens never be alone till the flowers bloom in there
world is never be alone till man is living in there
but here I am, suffering in loneliness like nobody is there

All the time people roaming around me
all the time people watching me cry
all the time people passing over me
but here I am, all alone, god might not know me

Post Comment

හිමි අහිමි

සිහිනය කොතරම් සුන්දර වූවත්
සෑබැ වුවොත් සිහිනයක් නොවේ
ආලය කොතරම් හදෙහි වූවත්
හිමි වීමම ආදයර නොවේ..

Post Comment

Sunday, October 2, 2011

මහේශ් අයියා කියලා දුන්න අන්තිම පාඩම..

ජීවිතේ හරිම කෙටියි යාළුවනේ. මේ ජීවිතේ අඬ අඬා විදවන්න කාලයක් නෑ. ගිය සෙනසුරාදාත් අපිත් එක්ක හිටපු මහේශ් අයියා අද අපිව දලා ගිහින්. දවසකට දෙකකට නෙවෙයි.සදහටම..
ඒත් මහේශ් අයියා හැමදාම වගේ අවසන් ගමන් ගියෙත් ජීවිතේ ගැන ලොකු පාඩමක් කියලා දීලා. එයා වසර 9ක් තිස්සේ අවංක ව ආදරේ කරපු ගෑණු ළමයා එයාව දාලා ගිහින් තිබුණා.ඒක නිසා එයා වින්ඳ වේදනාව හරියටම දැන ගෙන හිටියේ එයාව ලඟින් ම ඇසුරු කරපු අය විතරයි. ඒත් හදිස්සියේ ම එයා ඒ හැමදේම දාලා යන්න ගියා. අන්තිමට එයා ලඟ ඉතුරු වුණේ එයාට ඇත්තටම ආදරේ කරපු එයාගේ අම්මා තාත්තා සහ යාළුවෝ ටික විතරයි. 
ජීවිතේ අඬ අඬා ඉන්න කාලයක් නෑ කියලා මං කිව්වේ ඒ නිසා.. ලස්සන ජීවිතයක් තිබුණ මහේශ් අයියා අන්තිමට ඇස් දෙක පියා ගත්තේ වේදනාවෙන්.. ජීවිතේ හරිම කෙටියි.. ඒකෙන් බාගයක් අඬන්න තියා ගත්තොත් ඉතුරු බාගේ අපි ඉදිවිද කියලා කවුරුවත් දන්නේ නෑ..ජීවිතේ අද දවස විඳින්න.. විදවන්න එපා.. මම මේතරම් දවස් ජීවිතේ විඳෙව්වා..ඒත් ඇත්තටම අපේ ජීවිත මේ විදිහට විඳවන්න ඕනේ නෑ නේද කියලා මට හිතුණා.. ඇත්ත..අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා.. ඒත් ඒ ප්‍රශ්න මත්තේම ජීවිතේ තීරණය වෙන්න දීල අපි අද දවස අඬ අඬා හිටියොත් හෙට හිනා වෙන්න අපි ඉඳීද දන්නෙ නෑ..
හිනා වෙන එක හෙටට බාර දෙන්න එපා යාළුවනේ.. හෙට එන ප්‍රශ්න ගැන හිතලා අද හිනාව නැති කරගන්නත් එපා.. 
සමහර මම දන්න යාළුවෝ දෙන්න දෙන්නාට ආදරේ උනාට කියන්නේ නැතුව දුක් විඳිනවා.. ඒ අම්මලා තාත්තලා ප්‍රශ්න ඇති කරයි කියලා හිතා ගෙන.. ඒ ප්‍රශ්න අවාම ඒවාට මූණ දෙන්න යාළු.. අපි ඒදාට ඉඳීද කියලා අපිවත් දන්නෙ නැනේ.. ඒ නිසා අද ආදරේ කරලා..හිනා වෙලා සතුටින් ඉන්න.. මමත් කාලයක් නොලැබෙන ආදරයකට ඇඬුවා.. ඒත් දැන් නොලැබෙන ආදරයකට අඬනවාට වඩා මේ ජීවිතෙන් කරන්න පුළුවන් දෙවල් ගොඩක් තියෙනවා කියලා මට තේරෙනවා.. ජීවිතේ ජීවත් වෙන්න.. හෙට නෙවේ.. අද ජීවත් වෙන්න.. "කල් හෝ නා හෝ" කියලා අපි හැමෝම ආසවෙන් රස විදපු චිත්‍රපටයේ පෙන්නවන දේ මායා සිහින ෆිල්ම් ස්ටොරියක්ම නෙවේ.. අපේ ජීවිතත් හදිස්සියේ ඒ විදිහට ගසා ගෙන යන්න පුළුවන්.. ඒ නිසා අද දවස විඳින්න.. හෙට දවස ගෙන හෙට හිතන්න.. ඒ මොකද හෙටක් තියෙද නැද්ද කියලා වත් අපි දන්නෙ නැති නිසා..


Post Comment